21st October 2025
2025 ඔක්තෝබර් මස 19 දින සිට 22 දින දක්වා කාලය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශයන් වල ඇති වූ හදිසි තත්ත්වයන්ට යුද්ධ හමුදා භටපිරිස් විසින් කඩිනමින් ආපදා මෙහෙයුම් දියත් කරන ලදී.
ඒ අනුව, මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් 2025 ඔක්තෝබර් මස 19 දින මාවනැල්ල ප්‍රදේශයේදී ඇති වූ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීලි පැනීමට ලක් විය. ඊට කඩිනම් ප්‍රතිචාර දක්වමින්, 8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා භටපිරිස් 48 දෙනෙකු විසින් දුම්රිය මාර්ගය පිරිසිදු කිරීමට මෙන්ම පීඩාවට පත් මගීන්ගේ හා දුම්රිය කාර්ය මණ්ඩලයේ ආරක්‍ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලදී.
මේ අතර, 2025 ඔක්තෝබර් මස 21 දින කෑගල්ල, ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයේ දී දුම්රියක් පීලි පැනීමකට ලක්වූ අතර, ඊට කඩිනම් ප්‍රතිචාර දක්වමින්, 8 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් දුම්රිය බලධාරින් සමඟ එක්ව දුම්රිය ගමනා ගමනය ආරක්‍ෂිතව නැවත යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.
එසේම, 2025 ඔක්තෝබර් මස 21 දින පිටිගල - තවලම මාර්ගයේ දුන්හේන ප්‍රදේශයේ ඇති වූ නායයෑමක් හේතුවෙන් ගමනාගමනයට ඇති වූ බාධාවන් ඉවත් කර ගමනාගමනයට සුදුසු පරිදි යථා තත්ත්වයට පත් කිරීමට 61 පාබල සේනාංකය යටතේ 573 වන පාබල බලසේනාවේ ස්ථාපිත 20 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කටයුතු කරන ලදී.
මේ අතර, 61 පාබල සේනාංකය යටතේ 573 වන පාබල බලසේනාවේ ස්ථාපිත 2 (ස්වෙච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 ඔක්තෝබර් මස 22 දින ගාල්ල, පියදිගම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාම හේතුවෙන් අතරමංව සිටි මවක් සහ ඇයගේ මාස දෙකක් වයසැති බිළිඳා ඇතුළු සිවිල් වැසියන් සිව් දෙනෙකු බේරා ගන්නා ලදී. බේරාගත් එම පිරිස ආරක්‍ෂිතව තාවකාලික සහන සේවා කඳවුරක් ලෙස පවත්වාගෙන යනු ලබන සුදර්ශනාරාමය විහාරස්ථානය වෙත රැගෙන යනු ලැබීය. මෙම මෙහෙයුම සඳහා ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පළාත් පාලන ආයතනයන් සිය සහයෝගය යුද්ධ හමුදා භටපිරිස් වෙත ලබාදෙන ලදී.