ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වෙත එම බලසේනාවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 61 වන සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබූ මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න RSP USP nps psc, 2026 අප්‍රේල් මස 2 වන දින එම ධූරයෙන් නික්ම යන ලදී.

මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි සේනාවිධායක වෙත භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. ඉන්පසුව, දිවංගත කපිතන් සාලිය අලදෙණිය නිලධාරිගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිරිනමා රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් වෙත ගෞරවාචාර දැක්වීය.

පසුව, සේනාවිධායක විසින් සිය කාර්යාලයේදී තම ධූරයේ රාජකාරින් භාර දී සිය රුව සහිත ඡායාරෑපය නිරාවරණය කළේය. අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

වැඩසටහන අතරතුරදී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් නවතමයෙන් ඉදිකරන ලද Panoramic View, සේනාවිධායක නිවස්නය, Greenview ආපනශාලාව යන ස්ථාන කිහිපයක් විවෘත කරනු ලැබූ අතර, බලලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය.

පසුව, සියලුම නිලයන් අමතමින් සැබෑ වෙනස තමා තුළින්ම ආරම්භ විය යුතු බවත්, තම වටිනාකම් ආරක්‍ෂා කරගනිමින් රාජකාරීන් සහ පෞද්ගලික යහපැවැත්ම මනා සමබරතාවයකින් පවත්වා ගන්නා ලෙසත් අවධාරනය කළේය. එමෙන්ම, තමාට නිරන්තර මගපෙන්වීම් සහ සහය ලබාදුන් ජනාධිපතිතුමන් සහ යුද්ධ හමුදාපතිතුමන් වෙත සිය කෘතවේදීත්වය පළ කරමින් සියලුම නිලයන්ගේ අනාගත කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කළේය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.