2026-05-31

බදුල්ල දිස්ත්‍රික්කයේ දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය මූලික බිම සකස් කිරීමේ කටයුතු කඩිනම් කරයි

දිවයින පුරා දැඩි විනාශයක් සිදු කළ 'දිට්වා' සුළි කුණාටුවේ දරුණු බලපෑම හේතුවෙන් පවුල් දහස් ගණනක් අවතැන් වූ අතර, නේවාසික දේපළ හා පොදු යටිතල පහසුකම්වලට ද විශාල හානියක් සිදු විය. මෙම මානුෂීය අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, බදුල්ල දිස්ත්‍රික්කයේ සහන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පැවරිණි. මෙම මහා පරිමාණ වැඩපිළිවෙළේ කොටසක් ලෙස, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි, දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09 නිවාස 466ක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය බිම් සකස් කිරීමේ කටයුතු සිදු කිරීම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත පැවරී ඇත.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය කිසිදු ප්‍රමාදයකින් තොරව මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා තම භට පිරිස් සහ පස් කැපීමේ හා ගෙනයාමේ බර වාහන/උපකරණ කඩිනමින් යොදවන ලදී. ක්‍රමවත් සැලසුම්කරණය සහ කාර්යක්ෂම සම්පත් වෙන්කිරීම හරහා, බිම් මට්ටමේ වැඩකටයුතු සීඝ්‍රයෙන් ඉදිරියට ගෙනයාම තහවුරු කිරීම සඳහා ඉංජිනේරුවන් විසින් අත්‍යවශ්‍ය සහ හදිසි කාර්යයන්ට ප්‍රමුඛතාවය ලබා දී ඇත.

6 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව විසින් 2026 මැයි මස 28 වනදා හපුතලේ ප්‍රදේශයේ මහා පරිමාණ බිම් සකස් කිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී. මේ වන විට, පන්කැටිය ගම්මානයේ නිවාස බිම් කොටස් 12ක වැඩකටයුතු සාර්ථකව නිම කරමින් ව්‍යාපෘතිය සියයට 17ක ප්‍රගතියක් අත්කර ගෙන ඇත. අවතැන් වූ පවුල් වෙනුවෙන් නියමිත වේලාවට නිවාස ඉදිකිරීමට මඟ පාදමින්, මෙම කැපවූ සංග්‍රාමික ඉංජිනේරුවන් මූලික බිම් සකස් කිරීමේ අදියර කඩිනම් කිරීම සඳහා නොපසුබටව වෙහෙස මහන්සි වී වැඩ කරති.