‘අවසන් සටනේ අවසන් සෙබළා’ ග්‍රන්ථය යුද්ධ හමුදා මූලස්ථානයේදී එළිදක්වයි

ලුතිනන් කර්නල් සුජිත් චාමින්ද එදිරිසිංහ විසින් රචිත ‘අවසන් සටනේ අවසන් සෙබළා’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය 2025 ජූලි මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් මව්බිමේ එ්කීයභාවය සහ සාමය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය. අනතුරුව, කතුවරයා විසින් මීට පෙර ප්‍රකාශිත ග්‍රන්ථයන් පිළිබඳව නිර්මාණය කෙරුණු වාර්තාමය වීඩියෝපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව රණවිරුවන් විසින් තම ජීවිත කැපකරමින් සිදුකරනු ලැබූ අනුපමේය මෙහෙවර පිළිබඳව සිහිපත් කරමින් කතුවරයා විසින් මෙම නව කෘතිය නිර්මාණය කිරීමට පාදක වූ කතා මාලාව පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදුකරන ලදී. අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නව ග්‍රන්ථයේ මංගල පිටපත යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගැන්වීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික නිලධාරින් සහ එම කතා වස්තුව තුළ ජීවිතය පූජාකළ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත එම ග්‍රන්ථයේ පිටපත් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් සහභාගි වූහ.