23rd December 2025
මේජර් මුහම්මඩ් අබ්දුල් මන්නන් ගේ නායකත්වයෙන් 47 දෙනෙකුගෙන් යුත් පාකිස්ථානු යුද්ධ හමුදා සහන කණ්ඩායම දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදු කරන ලද අපදා සහන මෙහෙයුම් වලදී දැක්වූ දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඇගයිමට ලක් කරන ලදී.
ලුහුබැඳීමේ මෙහෙයුම් සඳහා පුහුණු කරන ලද සුනඛයින් සිව්දෙනෙකු සහ විශේෂිත උපකරණ ද සමඟින් 2025 දෙසැම්බර් මස 03 දින දිවයිනට පැමිණි එම කණ්ඩායම, දොළුව ප්‍රදේශයේ පිහිටි 111 පාබල බලසේනා මූලස්ථානය වෙත අනුයුක්ත කරන ලදී. පසුව දෙසැම්බර් මස 06 දින සිට 13 දින දක්වා කාලය තුළ ඔවුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් සමඟ එක්ව වැලිකන්ද සහ මාවතුර ප්‍රදේශවල මානුෂීය සහන සේවා සඳහා විශේෂ සෝදිසි කිරීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වූහ.
ශ්‍රී ලංකා සහ පාකිස්තානු යුද්ධ හමුදා අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය සහ සහයෝගීතාව මෙම සහන සේවා මෙහෙයුම් වලින් මැනවින් පිළිබිඹු වන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පෙන්වා දෙමින් මෙම කණ්ඩායමේ වෘත්තීය නිපුණතාවය, ක්ෂණික ක්‍රියාක්මක වීමේ හැකියාව සහ කැපවීම පීඩාවට පත් ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහන සේවා සැලසීමේදී සහ මුදවා ගැනීම් මෙහයුම් වලදී දැක්වූ දායකත්වය මෙහිදී ඇගයිමට ලක්කළේය.
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ මඟපෙන්වීම යටතේ, වත්කම් කළමනාකරණ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එන්.ඒ.එම්.පී. නාගහවත්ත RSP විසින් එම අවස්ථාවදී පාකිස්ථානු යුද්ධ හමුදා කණ්ඩායමේ නායකයා වෙත ඇගයීම් ලිපියක් පිළිගැන්වූ අතර, තවද, දෙරටේ හමුදාවන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.