ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් රථ අනතුරෙහි මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා යුද්ධ හමුදාවේ අඛණ්ඩ දායකත්වය

තංගල්ල ප්‍රදේශයේ වන්දනාකරුවන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් ඊයේ (04) දින රාත්‍රී 9.20 ට පමණ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 15 කණුව, රාවණා ඇල්ල ප්‍රදේශයේ පිහිටි ‘Mount 07’ හෝටලය අසලදී ලිස්සා ගොස් ගැඹුරු ප්‍රපාතයකට පෙරළීමෙන් දරුණු අනතුරක් සිදුවිය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ උපදෙස් මත අනතුරට පත් එම බස් රථයේ මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා කඩිනමින් යුද්ධ හමුදා භටපිරිස් යොදවනු ලැබීය.

ඊයේ රාත්‍රියේ ආරම්භ කරනු ලැබූ මෙම මෙහෙයුම සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුව, ගැමුණු හේවා බලකාය සහ කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් යුද්ධ හමුදා සාමාජිකයන් 200 කට අධික පිරිසක් සහභාගි වූහ. මීටර් සිය ගණනක ප්‍රපාතයකට පෙරළී ගොස් තිබූ මෙම බස් රථයේ සිටි පුද්ගලයින් මුදවාගැනීමේ මෙහෙයුම් ඉතාමත් දුෂ්කර වීය.

එහිදී, කමාන්ඩෝ රෙජිමේන්තු විශේෂඥ කණ්ඩායම්, කඹ ආධාරයෙන් එම ප්‍රපාතයට බැස විවිධ මුදවාගැනීමේ ශිල්පීය ක්‍රම භාවිතා කරමින් අනතුරට පත් මඟීන් ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරනු ලැබීය. මුදවාගත් පුද්ගලයින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා කඩිනමින් ගිලන් රථ මඟින් බදුල්ල, බණ්ඩාරවෙල සහ දියතලාව රෝහල් වෙත මාරු කරන ලදී.

අනෙකුත් හදිසි සේවා සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව, අනතුර සිදු වූ ස්ථානයේ සිදුවන මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා යුද්ධ හමුදාව අඛණ්ඩව සිය දායකත්වය ලබාදෙනු ලබයි.

ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP, 112 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.එන්.කේ බුලත්සිංහල RWP RSP USP psc ගේ මඟපෙන්වීම මත අදාළ ඒකකවල අණදෙන නිලධාරීන් මෙම මෙහෙයුමේ නිරීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි.