අභාවප්‍රාප්ත හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) VSV USP ndc ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

අභාවප්‍රාප්ත හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) VSV USP ndc ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ ඉරිදා (15) දින සන්ධ්‍යාවේ බොරැල්ල, පොදු සුසාන භූමියේ පිහිටි නව ආදාහනාගාර පරිශ්‍රයේදී සිදුකෙරිණි. එතුමන්ගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා හමුදා සාමාජිකයන්, සම්භාවනීය අමුත්තන් සහ ශෝකයට පත් ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

අභාවප්‍රාප්ත හිටපු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) VSV USP ndc ගේ දේහය කාතුගැල මත අභිමානවත් අයුරින් තැන්පත් කර භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් යුද්ධ හමුදා සාමාජිකයන් සහ අභාවප්‍රාප්ත හිටපු යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංවේගයට පත් පවුලේ සාමාජිකයන් ද පැමිණියහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I, අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර, හමුදා නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර හඬ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) VSV USP ndc වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ.

හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඩ එම අවස්ථාවේදි වාදනය කරනු ලැබු අතර, අභාවප්‍රාප්ත ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) VSV USP ndc ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී.

පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අභාවප්‍රාප්ත ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) VSV USP ndc සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

මෙම අවමංගල්‍ය උත්සවය සඳහා ස්වාමින් වහන්සේලා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු හමුදාධිපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරින් සහභාගි වූහ. එහිදී එම සියළු දෙනාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවනීය නායකයෙකු ලෙස කටයුතු කල අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත උපහාර දැක්වීය.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ:

Victory Day Message Image Victory Day Message Image Victory Day Message Image Victory Day Message Image