14th July 2025
53 පාබල සේනාංකය (අතිරේක ප්‍රහාරක සේනාංකය) යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක සහභාගිවත්වයෙන් පැවැත්වෙන ‘Arrow Head Challenge 2025 - Combat Readiness’ තරඟය 2025 ජූලි මස 14 දින සිට 2025 ජූලි මස 18 දින දක්වා පැවැත්වේ.
ක්‍රියාන්විත සැලසුම් කිරීම, නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම සහ සංග්‍රාමික පුහුණු පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු සැසියකින් අනතුරුව, බලඇණි මට්ටමින් පවත්වන ලද ශාරිරික යෝග්‍යතා පරීක්‍ෂණ, වාර්ෂික වෙඩි තැබීමේ වාර්තා සහ සංග්‍රාමික සූදානම් වාර්තා පරික්‍ෂා කිරීමෙන් පසුව 2025 ජූලි මස 13 දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී තරඟ වදින කණ්ඩායම් විසින් තරඟ කරුවන්ගේ නාමයෝජනා ලබාදෙන ලදී.
1 බලකාය සහ 53 පාබල සේනාංකයේ මඟපෙන්වීම මත එම භටපිරිස්හි ක්‍රියාන්විත කාර්යක්‍ෂමතාව සහ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම තරඟය පවත්වනු ලබයි.
‘Arrow Head Challenge 2025’ තරඟය සඳහා සහභාගි වූ 53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක සේනාංකය) සියලුම කණ්ඩායම්වලට පැවති ප්‍රථම අභියෝගය ලෙස වනයේ ගමන් කිරීමේ තරඟ ඉසව්ව එම තරඟකරුවන් විසින් සාර්ථකව අවසන් කරන ලදී. මෙම තරඟ ඉසව්ව හබරණ ප්‍රදේශයේ පිහිටි ඝන වනාන්තර භූමිය හරහා කිලෝමීටර් 12 කට අධික දුරක් ආවරණය කරමින් පැවති අතර එහිදී පාබල හමුදා භටපිරිස්හි දරාගැනීමේ හැකියාව, උපායශීලී බව සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කෙරිණි.
2025 ජූලි මස 14 දින උදෑසන අභියෝගාත්මක පරිසරයකින් ආරම්භ වූ මෙම ගමන් මාර්ගය වනය තුළ ස්වභාවික බාධක වලින් පිරුණු අධික බෑවුම් සහිත ප්‍රදේශයන් ඔස්සේ පවතින වියළි කාලගුණික තත්ත්වයන් යටතේ මෙම කණ්ඩායම් වලට ලබාදී තිබෙන සීමිත ජල ප්‍රමාණය පමණක් භාවිතා කරමින් තරණය කිරීමට සිදුවිය. මෙම තරඟයේ පළමු අදියරේදී වනය තුළ නිවැරදිව යායුතු ස්ථානයට වේගවත්ව ගමන් කිරීමේ සහ අධික වෙහෙසකාරී පරිසරයක තීරණ ගැනීමේ හැකියාව පරීක්‍ෂා කිරීම සිදුකරන ලදී.
‘Arrow Head Challenge 2025’ තරඟයේ දෙවන දිනයේදී භටපිරිස් විසින් මුර සංචාර, රැකසිට පහරදීම, ලුහුබැඳීම, ක්‍ෂණික ක්‍රියා සරඹ සහ හෙලිකොප්ටර් ගොඩබෑමේ ස්ථාන නිර්මාණය කිරීම සහ එම ස්ථාන සුරක්‍ෂිත කිරීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වෙමින් තම දක්‍ෂතාවයන් ඉදිරිපත් කරන ලදී. එසේම එදින තරඟයේ සුවිශේෂීම අංගය ලෙස හෙලිකොප්ටර් හැසිරවීමේ අභ්‍යාසය පැවැත්විණි. මෙම වෙහෙසකර ක්‍රියාවන්වලින් අනතුරුව දිනය අවසානයේදී භටපිරිස් විසින් ඉදිරි අභ්‍යාසයන් වලදී මුහුණ දීමට සිදුවන අනපේක්‍ෂිත අවස්ථාවන් වලට මුහුණ දීමට අවශ්‍ය උපායමාර්ගිකව ප්‍රතිසංවිධානය වීම සඳහා උපායශීලීව වනයේ ලැගුම් ගැනීම සිදුකරන ලදී.
‘Arrow Head Challenge 2025 - Combat Readiness’ තරඟය සඳහා සහභාගි වූ 53 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස්හි දරාගැනීමේ හැකියාව සහ අධිෂ්ඨානය පෙන්නුම් කරමින් එම තරඟය 2025 ජූලි මස 16 දින අවසන් විය.
එදින තරඟය 0530 පැයට ආරම්භ වූ අතර එම තරඟය සඳහා සහභාගි වූ 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් අධික උෂ්ණත්වයක් සහිත රළු භූමියක කිලෝමීටර් 20 ක දුර ප්‍රමාණයක් තුවාලකරුවන් ඉවත්කිරීමේ කටයුතුවල නිරතවිය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු ඉතිහාසය තුළ තනි කණ්ඩායමක් විසින් සිදුකරන ලද දීර්ඝතම තුවාලකරුවන් ඉවත් කිරීමේ අවස්ථාව ලෙස මෙම අවස්ථාව ඉතිහාසගත වනු ඇත.
ඉන් අනතුරුව, එම කණ්ඩායම් පාබල පුහුණු මධ්‍යස්ථාන ක්ෂේත්‍ර වෙඩිපිටියේදී FSMO සජීවී සටන් වෙඩිතැබීමේ අභ්‍යාසයක නිරත විය.
‘Arrow Head Challenge 2025 - Combat Readiness’ තරඟයේ සම්මාන ප්‍රදානෝත්සවය 2025 ජූලි මස 17 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම් විජේසූරිය RWP RSP ndu සහභාගි විය.
තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 6190 න් 5258 ක් දිනාගනිමින් අනුශූරතාවය දිනාගැනීමට 1 බලඇණිය ගජබා රෙජිමේන්තුව සමත්විය.
ලකුණු 6190 න් 5423.5 ක් දිනාගනිමින් ‘Arrow Head Challenge 2025 - Combat Readiness’ තරඟයේ ශූරතාවය දිනාගැනීමට 3 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම සමත්විය. තරඟයේ ශූරතාවය දිනාගත් මෙම කණ්ඩායමේ ජයග්‍රහණය ඇගයීමට ලක්කරමින් එම කණ්ඩායමේ සාමාජිකයන් වෙත පදක්කම් සහ සහතිකපත්‍ර මෙන්ම කීර්තිමත් අභියෝගතා ඵලකය සහ විශේෂ මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණි.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.