16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ භට පිරිස් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි සඳහා දිවයිනෙන් පිටත්ව යයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ, 16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායම 2025 ජූලි මස 02 දින සුභ පැතුම් මධ්‍යයේ දිවයිනෙන් ලෙබනනය බලා පිටත් විය.

16 වන ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමට ශ්‍රී ලංකා හමුදාවේ නිලධාරීන් 07 දෙනෙකු සහ සෙසු නිලයන් 114 දෙනෙකු ඇතුළුව හමුදා සාමාජිකයින් 121 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, එම කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ගජබා රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් වයි.එස්.එච්.එන්.පී සිල්වා USP psc සහ දෙවන අනදෙන නිලධාරි ලෙස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් බී.එම්.ඒ.අයි.යූ ඔබයසේන USP psc කටයුතු කරනු ලබයි.

යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් දිවයිනෙන් සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යන භට කණ්ඩායමට සුභ පැතුම් එක් කිරීම සඳහා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, යුද්ධ හමුදා ගමන් පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සී.ඩී වික්‍රමනායක WV RSP ndc, යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී මාපලගම psc සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු ගුවන් තොටුපළවෙත පැමිණෙන ලදී.