13 වන ආරක්‍ෂක සේවා යතුරුපැදි තරඟාවලියේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවට

13 වන ආරක්‍ෂක සේවා යතුරුපැදි ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 11 දින සාලියපුර ගජබා රෙජිමේන්තු සුපර් ක්‍රොස් ධාවන පථයේදී පැවති අතර, එම තරඟාවලියේ සමස්ත ශූරතාව යුද්ධ හමුදාවට හිමිවිය.

ශූරතාවලිය සඳහා තරඟාවලි පහක් ඇතුළත් වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 11 ක් නියෝජනය කරමින් යතුරුපැදි ධාවකයින් දහඅට දෙනෙකු සහභාගි වූහ. එහිදී, යුද්ධ හමුදා යතුරුපැදි ධාවකයින් රන් පදක්කම් පහක්, රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළුව පදක්කම් දොළහක් දිනා ගත්හ.

තරඟාවලියේ MX 125cc සහ MX 250cc යන ධාවන කාණ්ඩ දෙකෙහිම පළමු ස්ථානයන් ලබාගත් ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ තුවක්කු සෙබල ටී. එන් කුමාර ශූරතාවලියේ දක්‍ෂතම යතුරුපැදි ධාවකයා ලෙස සම්මාන ලැබීය.

සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc සහභාගි වූ අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.