විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් කේ.වී.අයි.එල් ජයවීර USP ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1992 ජූලි මස 24 දින පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 5 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් කේ.වී.අයි.එල් ජයවීර USP පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ දියතලාව, යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලාවන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1993 අප්‍රේල් මස 15 දින කමාන්ඩෝ රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 30 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 නොවැම්බර් මස 22 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති ධූරය හෙබවිය.
විශ්‍රාම දිවියට පා තබන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කණ්ඩායම් අණදෙන නිලධාරි ,කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ උපදේශක, 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කණ්ඩායම් අණදෙන නිලධාරි, 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේනිලධාරි නිලධාරි අණදෙන (පාලන), යුද්ධ හමුදා මූලස්ථානයේ හමුදාධිපතිපතිතුමන්ගේ ආරක්‍ෂක කණ්ඩායමේ නිලධාරි අණදෙන, 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ මෙහෙයුම් සහ පුහුණු නිලධාරි, 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 56 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මෙහෙයුම්), එක්සත් ජාතීන්ගේ අන්තර්වාර ආරක්‍ෂක බලකායේ හමුදා නිරීක්‍ෂක- අබියේ ප්‍රදේශය, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1, 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 24 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මෙහෙයුම්), කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 613 පාබල බලසේනාවේ බලසේනාධිපති, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති වැනි ධූරයන් රැසක් හොබවන ලදී.
එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලබන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී ඛණ්ඩභාර නිලධාරින්ගේ උපක්‍රමික පාඨමාලාව, මූලික කමාන්ඩෝ පාඨමාලාව, උසස් කමාන්ඩෝ පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය සහ මානව හිමිකම් උපදේශක පුහුණු පාඨමාලාව, ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සහ ප්‍රතිත්‍රස්ථ ක්‍රියාන්විත පාඨමාලාව, හමුදා නිරීක්‍ෂකයින්ගේ සහ මාණ්ඩලික නිලධාරින්ගේ පාඨමාලාව, කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාව - පාකිස්ථානය, ඝථක් පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරින්ගේ උපක්‍රමික පාඨමාලාව - පාකිස්ථානය, කමාන්ඩෝ පාඨමාලාව - ඉන්දියාව, කැරලි මර්දන සහ කැලෑ බද සංග්‍රාමික පුහුණු පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ප්‍රභූ ආරක්‍ෂක පාඨමාලාව - පකිස්ථානය, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි දේශිය හා විදේශීය පුහුණු පාඨමාලා රැසක් ද හදාරන ලදී.