යුද්ධ හමුදාවේ විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක් පවත්වයි

රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් උතුරු මැද පළාතේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 2025 මැයි මස 27 දින අනුරාධපුර, අභිමංසල - 1 සුවතා නිකේතනයේදී විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා බහු විධ වෛද්‍ය සායන කඳවුරක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සමඟ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූහ. එහිදී අභිමංසල - 1 සුවතා නිකේතනයෙහි සේනාවිධායක සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම නිල සංචාරයේදී, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පරිත්‍යාග කරන ලද ජීප් රථයක් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම සුවතා නිකේතනය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබූ අතර, අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් රෝද පුටු 10 ක් සහ කිහිලිකරු 15 ක් ද සංකේතාත්මකව බෙදා දෙන ලදී. එහිදී හේනේපොල ගුණරතන නායක හිමියන් විසින් පරිත්‍යාග කරන ලද ත්‍යාග සහ බුද්ධ ප්‍රතිමා ද එම අවස්ථාවට සහභාගිවූවන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු 2,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. මෙම වෛද්‍ය කඳවුර මඟින් වෛද්‍ය උපදේශන සේවා, කෘත්‍රිම අවයව නඩත්තු කිරීම, චර්ම රෝග සහ දන්ත සායන, මානසික සෞඛ්‍ය උපදේශන සේවා සහ පෝෂණ උපදේශණ සේවා ලබාදීම සිදුකරන ලදී.

මෙම වෛද්‍ය සායන කඳවුරට සහභාගී වීමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් සහ රුවන්වැලිසෑය විහාරාධිපති අතිපූජ්‍ය ඊතලවැටුනවැවේ ඥානතිලක නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.