යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ තෙවන කළමනාකරණ කමිටු මණ්ඩල රැස්වීම සාර්ථකව පවත්වයි

බුත්තල පිහිටි යුද්ධ හමුදා යුද විද්‍යාලය පරිශ්‍රයේදී 3 වන කළමනාකරණ කමිටු මණ්ඩල රැස්වීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc ගේ ප්‍රධානත්වයෙන් 2026 පෙබරවාරි මස 25 වන දින පැවැත්වීය. එහිදී එම විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන අංශ සහ ඉගැන්වීමේ හා ඉගෙනුම් ක්‍රියාවලීන් නවීකරණය කිරීම කෙරෙහි මඟින් මෙහෙයුම් කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු විය.

රැස්වීම ආරම්භ වීමට පෙර, මාණ්ඩලික ප්‍රධාන විසින් කනිෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ සහ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් අමතමින් නායකත්වයේ අත්‍යවශ්‍ය ගුණාංග හා අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයේ වැදගත්කම අවධාරණය කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අනාගත නායකයින් වෙත උපදෙස් ලබා දුන්නේය. අනතුරුව, මාණ්ඩලික ප්‍රධාන විසින් ශිෂ්‍ය නිලධාරීන්ගේ අධ්‍යයන කටයුතු වෙනුවෙන් තම පෞද්ගලික ග්‍රන්ථ එකතුවක් විද්‍යාලයීය පුස්තකාලය වෙත පරිත්‍යාග කරන ලදී.

කළමනාකරණ කමිටු මණ්ඩල රැස්වීම සඳහා යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක, පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ ජෙනරාල්, අයවැය සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ, පුහුණු අධ්‍යක්‍ෂ නියෝජනය කරමින් කර්නල් පුහුණු අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ප්‍රධාන උපදේශක සහභාගී වූහ.

විද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි මාණ්ඩලික ප්‍රධාන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකර ගෙන යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටි අතර, අනතුරව එම විද්‍යාලයේ සේනාවිධායක සහ සහ කාර්ය මණ්ඩලය සමඟින් සුහද කථා බහක නිරත විය.

එමෙන්ම, පැමිණි පිරිස ඉන්දියා-ශ්‍රී ලංකා මිත්‍රත්ව ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ද නිරීක්‍ෂණය කළහ.

වැඩසටහන අවසානයේදී, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.ආර්.එන්. සිල්වා RSP USP psc විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන දැක්වූ දායකත්වය අගය කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.