යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන ඉංජිනේරු බලකාය යටතේ ස්ථාපිත කඳවුරු පරිශ්‍රයන්හි නිල සංචාරයක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ USP nps psc, 2026 පෙබරවාරි මස 15, 18 සහ 19 යන දිනයන්හිදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය යටතේ ස්ථාපිත කඳවුරු පරිශ්‍රයන්හි නිල සංචාරයන් සිදුකරන ලදී.

සංචාරය ආරම්භ කරමින් 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ නිල සංචාරය සිදුකරනු ලැබූ අතර, ඉන් පසුව කන්තලේ පිහිටි යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාව වෙතද ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනාවට වෙතද, පසුව 8, 9, 10 සහ 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තු වෙතද සංචාරයේ නිරත විය. සෑම කඳවුරු පරිශ්‍රයකදීම එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකර ගෙන යාමේ ගෞරවාචාරයන් පිරිනමන ලදී.

එම සංචාරයන් හිදී නිලධාරීන් සහ සෙසු නිලයන් අමතමින් ඉංජිනේරු බලකායේ වගකීම් කාලීනව වෙනස් වන ආකාරය පැහැදිලි කරමින් සාර්ථකත්වය සඳහා තාක්‍ෂණික දක්‍ෂතාවය, විනයගරුක නායකත්වය, සාමූහිකත්වය සහ අවංකභාවය අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම, අනාගතයේදී ඇතිවන අභියෝගවලට මුහුණ දිය හැකි, විශ්වාසවන්ත සහ දක්‍ෂ හමුදාවක් ගොඩනැගීම සඳහා නිරන්තර වෘත්තීය දියුණුව, ආදර්ශමත් හැසිරීම සහ පුද්ගලික නොපසුබට උත්සාහය පවත්වා ගන්නා ලෙසද ඔවුන්ව දිරිමත් කළේය.

මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටු අවස්ථාවේදී ඉංජිනේරු බලකාය ඉටු කළ විශිෂ්ට සේවය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන විසින් එහිදී ඇගයීමට ලක් කළේය. එමෙන්ම සෑම කඳවුරකදීම සමූහ ඡායාරූපයන් සඳහා පෙනී සිටි අතර, විශේෂ අමුත්තන්ගේ පොතෙහි සමරු සටහන්ද තැබීය. තවද, සියලු නිල තේ පැන් සංග්‍රහයන් සඳහාද එක් විය.

මෙම සංචාරයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.