යුද්ධ හමුදා භටපිරිස්හි සහභාගීත්වයෙන් ඇල්ල ප්‍රදේශයේදී ආපදා මුදාගැනීමේ මෙහෙයුම් පුහුණු අභ්‍යාසයක් පවත්වයි

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ආපදා අවස්ථාවකදී මුදාගැනීමේ මෙහෙයුම් පුහුණු අභ්‍යාසයක් 2025 ඔක්තෝබර් මස 16 දින පවත්වන ලදී. 2025 සැප්තැම්බර් මස 04 දින සිදු වූ ඛේදජනක බස්රථ අනතුරෙන් පසු ඉදිරියේදී සිදුවිය හැකි හදිසි අනතුරු සඳහා වන සූදානම සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම පුහුණු අභ්‍යාසය සිදු කරනු ලැබීය.

මෙම පුහුණු අභ්‍යාසය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, විශේෂ කාර්ය බලකාය, ඇල්ල පොලිසිය, බදුල්ල සහ බණ්ඩාරවෙල ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ ඒකක, බදුල්ල ශික්ෂණ රෝහල, දියතලාව සහ බණ්ඩාරවෙල මහ රෝහල්, ලංකා විදුලිබල මණ්ඩලය, 1990 ගිලන් රථ සේවාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ඇතුළු ආයතන බොහෝමයක සහභාගීත්වයෙන් පවත්වන ලදී.

එහිදී, ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 25 වන කිලෝමීටර් කණුව අසල බස් රථයක් අඩි 500 ක ප්‍රපාතයකට වැටී ඇති බවට උපකල්පනය කරමින් මෙම මෙම පුහුණු අභ්‍යාසය සිදුකරනු ලැබූහ.

මෙම පුහුණු අභ්‍යාසයේදී සහභාගි වූ සියලුම පාර්ශවකරුවන් අතර පවතින සම්බන්ධිකරණය ශක්තිමත් කිරීම, ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ඇඟයීම, අනතුරු හැසිරවීමේ ක්‍රියා පටිපාටි වැඩිදියුණු කිරීම, සන්නිවේදනය සහ රාත්‍රී මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම වැනි කටයුතු සිදුකරනු ලැබූහ.

බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.එන්.කේ බුලත්සිංහල RWP RSP USP psc ගේ උපදෙස් මත 112 පාබල බලසේනාවේ මෙන්ම 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ, 3 කමාන්ඩෝ රෙජිමේන්තුවේ, 1 බලඇණිය ගැමුණු හේවා බලකායේ සහ 5 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මෙම ආපදා මුදාගැනීමේ මෙහෙයුම් සිදුකරන ලදී.

ඌව පළාත් ආණ්ඩුකාර ගරු ජේ.එම් කපිල ජයසේකර මහතා සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් පී.එස්.පී අබේවර්ධන මහතා විසින් මෙම අභ්‍යාසය අධීක්‍ෂණය කරන ලද අතර, අනතුරුව ආණ්ඩුකාරතුමන් විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා සහභාගී වූ සියලුම ආයතනවල වෘත්තීයභාවය සහ ඒකාබද්ධ උත්සාහය ඇගයීමට ලක්කරන ලදී.