යුද්ධ හමුදා භටපිරිස් ලෝකාන්තයෙන් ඇද වැටුණු විශ්වවිද්‍යාල සිසුවියක් බේරා ගනී

කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබන 23 හැවිරිදි ශිෂ්‍යාවක් හෝර්ටන් තැන්න, ලෝකාන්තයෙන් වැටී අතුරුදන් වී ඇති බවට නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ලැබුණු තොරතුරකට අනුව, යුද්ධ හමුදා භටපිරිස් විසින් 2026 මාර්තු මස 19 වන දින ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.

එම මෙහෙයුම සඳහා 114 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ ගලවා ගැනීමේ භටපිරිස් කණ්ඩායමක් සහභාගී වූහ.

ගලවා ගැනීමේ කණ්ඩායම මිනිත්තු 45 ක් ඇතුළත එම ස්ථානයට ළඟා වූ අතර, එම ස්ථානයට යන මාර්ගය පටු සහ රළු භූමි ප්‍රදේශයකින් සමන්විත ඉතා දුෂ්කර මාර්ගයක් විය. ඒ අනුව, ගලවා ගැනීමේ කණ්ඩායම ලෝකාන්ත පිවිසුමේ සිට නැරඹුම් ස්ථානය දක්වා කිලෝමීටර් 5 ක පමණ දුරක් පා ගමනින් ගොස්, තුවාල ලබා සිටි සිසුවිය සොයා එම ස්ථානයට ළඟා වීමට ලණු භාවිතා කරමින් අඩි 100 කට වඩා බෑවුම් සහිත ප්‍රපාතයකින් පහළට ගමන් කරන ලදී.

බේරාගත් එම සිසුවිය භටපිරිස් විසින් රැගෙන ඒමෙන් පසුව, 1990 හදිසි ගිලන්රථ සේවය හරහා වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහල වෙත ඇතුළත් කරන ලදී.