23rd June 2025
දිනෙන් දින වර්ධනය වන අලි - මිනිස් ගැටුම අවම කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 12 බලඇණිය ගැමුණු හේවා බලකාය, 3 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව යන ඒකකයන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ නිලධාරින් සමඟ එක්ව 2025 ජුනි මස 19 දින මිවිතපුර සිට නුවරගල දක්වා වන ප්‍රදේශය තුළ සැරිසරන අලි 26 දෙනෙකු පලවා හැරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරනු ලැබූහ.
මිවිතපුර, මාදගම්පිටිය, නවගහ ඇළ සහ නුවරගල යන වන අලි අවදානම් සහිත කෘෂිකාර්මික කලාප ආවරනය කරමින් සිදුකරන ලද මෙම වන අලි පලවාහැරීමේ මෙහෙයුම මඟින් කුඹුරු වගාවන් සඳහා සිදුවන හානිය වැළැක්වීම සහ ගොවි ජනතාව ආරක්‍ෂා කිරීම අරමුණ විය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී. ආර් පතිරවිතාන USAWC psc සහ ව්‍යාපෘති නිලධාරි බ්‍රිගේඩියර් ඩබ්ලිව්. එස්. ආර් කුමාර USP ISC යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් මත ප්‍රජාවගේ ආරක්‍ෂාව සහ පාරිසරික සමතුලිතතාවය සඳහා යුද්ධ හමුදාවේ කැපවීම පිළිබිඹු කරමින් මෙම මෙහෙයුම සිදුකරනු ලැබීය.