23rd June 2025
වසර 36 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ලංකා අමරපාල RWP RSP ndc psc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 ජුනි මස 20 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1989 ජනවාරි මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැඳුනු මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 අප්‍රේල් මස 05 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 මැයි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 ජුනි මස 23 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගොල්ෆ් කමිටුවේ සභාපති ධූරයන් හෙබවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය කීර්තිමත් වෘත්තීය දිවිය තුළදී 5 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ඛණ්ඩභාර නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි උපදේශක, අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් කේ.ජේ.සී. පෙරේරා (විශ්‍රාමික) RWP RSP VSV USP rcds psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධි සහායක, 52 සහ 53 ක්ෂේත්‍ර බලඝණයන්හි නිලධාරි අණදෙන, 5 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පුහුණු අංශයේ නිලධාරි අණදෙන, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ විධායක අධිකාරි, 7 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරි, කාර්ය සාධක බලකා 2 මූලස්ථානයේ කාර්යයේ නියුක්ත ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා බලඇණියේ අණදෙන නිලධාරි, 10 සහ 6 කාරක ඉංජිනේරු රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායන්හි අණදෙන නිලධාරි, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක, දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම මූලස්ථානයේ නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ හමුදා සම්බන්ධීකාරක නිලධාරි, ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ කාර්යයේ නියුක්ත කර්නල් (ව්‍යාපෘති), ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ වැඩබලන මධ්‍යස්ථාන සේනාවිධායක, 593 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 122 පාබල බලසේනාවේ බලසේනාධිපති, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු, ඉංජිනේරු සේවා බලකායේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල්, ආරක්ෂක සේනා ආඥාපති - බටහිර, සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරි (බටහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය) සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වැනි ධූරයන් රැසක් සහ යුද්ධ හමුදාවේ තෙවන ජ්‍යෙෂ්ඨතම තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ධූරයද හෙබවිය.
මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණවික්‍රම පදක්කමෙන් සහ රණශූර පදක්කමෙන් පිදුම් ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය වෘත්තීය දිවිය තුළදී ඛණ්ඩභාර නිලධාරින්ගේ උපක්රමික පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරින්ගේ පාඨමාලාව, මූලික බුද්ධි හා ආරක්ෂක පාඨමාලාව, මූලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව, ඒකක පුහුණුකරුවන්ගේ පාඨමාලාව, මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව, JCET Balance Style පාඨමාලාව, නීතිය සහ සන්නද්ධ ගැටුම් උපදේශක පුහුණු පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය සහ මානව හිමිකම් පිළිබඳ මූලික උපදේශක පාඨමාලාව, මානුෂීය බිම්බෝම්බ ක්‍රියාකාරිත්වය පිළිබඳ මූලික කළමනාකරණ පාඨමාලාව, රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක සහ විකිරණශීලී ප්‍රතිචාර පිළිබඳ හඳුන්වාදීමේ පුහුණු පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීයවාදී නීති පාඨමාලාව සහ ක්‍රීඩා පරිපාලන කළමනාකරණ පාඨමාලාව වැනි පාඨමාලාවන් රැසක් හදාරන ලදී.
එමෙන්ම, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තරුණ නිලධාරි ඉංජිනේරු පාඨමාලාව - පාකිස්ථානය, JCET පාඨමාලාව - ජපානය, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පුහුණු පාඨමාලාව - පාකිස්ථානය, සටන් ඉංජිනේරු උපදේශක පාඨමාලාව - ඉන්දියාව, බෝම්බ සහ වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - ඉන්දියාව, සාමසාධක හමුදා ඇතුළත් කිරීමේ ආරම්භක පුහුණු පාඨමාලාව - හයිටි, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ දෙවන මට්ටමේ පාඨමාලාව - ඇමරිකා එක්සත් ජනපදය, සාකච්ඡා, සංවාද සහ මැදිහත්වීම පිළිබඳ පාඨමාලාව - කෙන්යාව, OPCW මූලික පුහුණු පාඨමාලාව - ජර්මනිය සහ රසායනික අවි වලින් ආරක්ෂාවීම පිළිබඳ ජාත්‍යන්තර උසස් පුහුණු පාඨමාලාව - පාකිස්ථානය ඇතුළු විදේශීය පුහුණු වැඩසටහන් සහ පාඨමාලාවන් රැසක් හදාරන ලදී.
මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපද්‍රවකාරී රසායනික කළමනාකරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවක්, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඔලිම්පික් ක්‍රීඩා සංවිධාන කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්, ශ්‍රී ලංකා පිරිස් කළමනාකරණ ආයතනයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාවක්, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (ආරක්ෂක අධ්‍යයන) උපාධියක්, පිලිපීනයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් ජාතික ආරක්ෂක පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දර්ශනපති උපාධියක් ඇතුළු අධ්‍යයන හා වෘත්තීය සුදුසුකම් රැසක් ද ලබාගෙන ඇත.
එමෙන්ම, තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි තම සේවා කාලය තුළදී දකුණු ආසියානු සාමසාධක මෙහෙයුම් පුහුණුව (2000) - නේපාලය, හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාල සංචාරය (2004) - ඉන්දියාව, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාල අධ්‍යයන චාරිකාව (2012) - ඉන්දුනීසියාව සහ (2013) - පාකිස්ථානය, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ IHL වැඩමුළුව (2014), MPAT Tempest Express Staff Planning වැඩමුළුව (2014) - මැලේසියාව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ පැවති ජයග්‍රහණය සඳහා සාකච්ඡා කිරීම සහ උපායමාර්ගික චින්තනය පිළිබඳ වැඩමුළුව (2016), ශ්‍රී ලංකාවේ මාරාන්තික නොවන අවි පිළිබඳ සම්මන්ත්‍රණය (2017), ශ්‍රී ජයවර්ධනපුර PIM විශ්වවිද්‍යාලයේ විධායක සංවර්ධන වැඩසටහන (2017), නියාමන පාලනයෙන් බැහැර ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ ක්‍රියා පිළිබඳ කලාපීය වැඩමුළුව (2023) - ජපානය, IMA හි ආදි ශිෂ්‍ය සමුළුව (2024) - ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සාමසාධක අමාත්‍ය ධුරය (2025) - ජර්මනිය ඇතුළු අධ්‍යයන චාරිකා, පුහුණු වැඩමුළු සහ සම්මන්ත්රණ රැසකට සහභාගි විය.