9th October 2025
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ඔක්තෝබර් මස 08 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
1990 නොවැම්බර් මස 03 දින කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 8 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි RWP RSP USP රත්මලාන, ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1992 නොවැම්බර් මස 14 දින ගජබා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මැයි මස 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
2025 ඔක්තෝබර් මස 23 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙබවීය.
විශ්‍රාම දිවියට පා තබන තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරි, බුද්ධි නිලධාරි, නිලධාරි අණදෙන, විධායක අධිකාරි සහ නිලධාරි අණදෙන, යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II, 534 පාබල බලසේනා මූලස්ථානයේ භට කාර්ය සම්පාදන මේජර්, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි අණදෙන (පාලන), මරදාන මූලික යුධෝපකරණ ගබඩාවේ නිලධාරි අණදෙන (පාලන), 10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ නිලධාරි අණදෙන, 22 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 14 පාබල සේනාංකයේ කලාප 02 අණදෙන නිලධාරි, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි I, 56 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 683 පාබල බලසේනාවේ කාර්යයේ නියුක්ත බලසේනාධිපති, 681 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම් දේපල හා භට නිවාස අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, සටන් පුහුණු පාසලේ සේනාවිධායක, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ධූරයන් රැසක් හොබවන ලදී.
එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත දෙවරක් රණ වික්‍රම පදක්කමෙන්ද, රණ ශූර පදක්කමෙන් සහ උත්තම සේවා පදක්කමෙන් පිදුම් ලබන ලදී.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය යුද්ධ හමුදා සේවා කාලය තුළදී මුර සංචාර පාඨමාලාව, කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, ඒකක ගිණුම් නිලධාරී පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, තරුණ නිලධාරින්ගේ උපාය මාර්ගික පාඨමාලාව - පාකිස්ථානය, බලඇණි ආධාරක අවි (මෝටාර්) පාඨමාලාව නිලධාරි - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, එක්සත් ජාතීන්ගේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ පාඨමාලාව - පාකිස්ථානය, එක්සත් ජාතීන්ගේ බඩී ප්‍රථමාධාර පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලාව - උගන්ඩාව ඇතුළු දේශීය මෙන්ම විදේශීය පුහුණු පාඨමාලා රැසක් හදාරන ලදී.