විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි, 2025 දෙසැම්බර් මස 03 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳව කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

1991 නොවැම්බර් මස 17 දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 9 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1993 නොවැම්බර් මස 22 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි.

යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජනවාරි මස 18 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 දෙසැම්බර් මස 10 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති ධූරය හෙබවීය.

විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 4 පාබල බලසේනාවේ අභ්‍යන්තර ආරක්ෂක කණ්ඩයේ ඛණ්ඩ භාර නිලධාරි, කොළඹ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේ වැඩපොල භාර නිලධාරි, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී III, උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේ විධායක අධිකාරි, සන්නාහ සන්නද්ධ බලසේනාවේ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍ර වැඩපලේ නිලධාරි අණදෙන සහ දෙවන අණදෙන නිලධාරි, 53 පාබල සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී II (සැපයුම්), කටුබැද්ද සහ උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේ දෙවන අණදෙන නිලධාරි, 7 බලඇණිය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, කාලතුවක්කු බලසේනාවේ පිහිටි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍ර වැඩපලේ ජ්‍යෙෂ්ඨ වැඩපොල භාර නිලධාරි, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු (කාලතුවක්කු) බලඇණියේ කාර්ය නියුතු අණදෙන නිලධාරි සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී 1 (පාලන) වැනි ධූරයන් රැසක් හොබවන ලදී.

එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් (ව්‍යාපෘති), කොළඹ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේ සේනාවිධායක, යුද්ධ හමුදා කාර්මික ව්‍යාපෘතියේ සේනාවිධායක, 58 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදක), ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් (පාලන සහ භඨකාර්ය සම්පාදක), ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ඉදිරි නඩත්තු පෙදෙස (මධ්‍යම) කාර්ය නියුතු ආඥාපති, ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භඨකාර්ය සම්පාදක ආඥාපති, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති වැනි ධූරයන් ද හොබවන ලදී.

එසේම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය සේවා කාලය තුළදී ඒකක පරිපාලන පාඨමාලාව, ඒකක ගිණුම් නිලධාරී පාඨමාලාව සහ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව සාර්ථකව නිමකර ඇත.

එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් තරුණ තාක්ෂණික නිලධාරීන්ගේ පාඨමාලාව ඉන්දියාව, සන්නාහ සන්නද්ධ පිරිස් වාහක නඩත්තු ක්ෂේත්‍ර පාඨමාලාව චීනය, වැඩපොල ඛණ්ඩ භාර නිලධාරි පාඨමාලාව සහ ජ්‍යෙෂ්ඨ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු නිලධාරීන්ගේ පාඨමාලාව ඉන්දියාව වැනි විදේශීය පාඨමාලාද හදාරන ලදී.

මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය වැනි අධ්‍යාපනික සුදුසුකම්ද සපුරාලන ලදී.