5th March 2026
වසර 36 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල RSP ndu, 2026 මාර්තු මස 04 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විස්තරය පහත පරිදි වෙයි:
1989 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 33 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් කේ.එන්.ඩී. කරුණාපාල RSP ndu දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්ව වර්ෂ 1991 ජුනි මස 15 දින ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 සැප්තැම්බර් මස 30 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. එම ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026 මාර්තු මස 06 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ගනු ලබයි.
විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් හමුදා දිවිය තුළදී 8 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඛණ්ඩ භාර නිලධාරි සහ නිලධාරී අණදෙන, 213 පාබල බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී 3 (භඨකාර්ය සම්පාදන), 6 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී 2, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ නිලධාරී අණදෙන, 6 වන කාර්ය සාධන බලකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 1 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී, 611 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති, 25 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී වැනි ධූරයන් හොබවන ලදී.
තවඳ, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළදී යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1, ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ), සමස්ත මෙහෙයුම් ආඥාපති - කොළඹ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 56 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මණ්ඩලික), 552 පාබල බලසේනාවේ සහ 612 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් (ප්‍රධාන මණ්ඩලික), යුද්ධ හමුදා මූලස්ථානයේ නඩත්තු සහ කළමනාකරණ අධ්‍යක්‍ෂ, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක වැනි ධූරයන් ද හොබවන ලදී.
එසේම, යුද්ධ හමුදා සේවා කාලය තුළදී දැක්වූ කැපවීම සහ නිර්භීතකම අගයමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණ සූර පදක්කමෙන් පිදුම් ලැබීය.
එමෙන්ම, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් බලඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ උපාය මාර්ගික පාඨමාලාව - පාකිස්ථානය, නිලධාරීන් සඳහා වූ මෝටාර් අවි පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ඒකක අණදෙන සහ මාණ්ඩලික පාඨමාලාව - බංග්ලාදේශය සහ ජාතික ආරක්‍ෂක සහ යුද පාඨමාලාව - පාකිස්ථානය ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක් ද හදාරන ලදී.
එසේම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ශ්‍රී ලංකා ඔරියන්ට් ඇකඩමි ආයතනයෙන් පරිගණක දෘඩාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක්, 2011 දී ශ්‍රී ලංකා පදනම විසින් පවත්වන ලද උපදේශන ඩිප්ලෝමාවක්, කොළඹ ඇක්වයිනාස් විශ්ව විද්‍යාල විද්‍යාලයෙන් හෝටල් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක්, ශ්‍රී ලංකා යුරෝපීය වෘත්තීය අධ්‍යාපන ආයතනය (පුද්ගලික) සමාගම විසින් පවත්වන ලද මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වෘත්තීය උසස් ඩිප්ලෝමාවක්, පාකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙන් ජාතික ආරක්‍ෂක කළමනාකරණය සහ යුද අධ්‍යයන පිළිබඳ ඩිප්ලෝමාවක්, ශ්‍රී ලංකා සිප්වේ ඉංග්‍රීසි ඇකඩමි ආයතනයෙන් ඉංග්‍රීසි පාඨමාලාවක්, ශ්‍රී ලංකා මානව හිමිකම් ආයතනයේ මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යා පීඨයෙන් ප්‍රධාන තොරතුරු තාක්‍ෂණ කුසලතා පාඨමාලාවක් ද හදාරා ඇත.