20th September 2025
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මන්ඩලය සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය එක්ව, නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි යුද්ධ හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් එම ප්‍රදේශයේ රණක්‍ෂිතයට පත් විශ්‍රාමික හමුදා සාමාජිකයන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා 2025 සැප්තැම්බර් මස 19 දින අම්පාර සටන් පුහුණු පාසලේදී බහු විධ වෛද්‍ය සායන කඳවුරක් පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි වූහ. එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලේකුඹුර RWP RSP ndu psc, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඩබ්ලිව් ජයවීර USP psc, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.එස්.ආර් විජේදාස WWV RSP USP ndc psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙම වෛද්‍ය සායනය අතරතුරදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද රෝද පුටු 20 ක්, කිහිලිකරු 69 ක්, වෝකර් යන්ත්‍රයක් සහ වෛද්‍ය උපකරණ යුද්ධ හමුදාධිපතිතුමන් සහ පැමිණි අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා ප්‍රදානය කරන ලදී.
මෙම වැඩසටහන මඟින් ආබාධිත විශ්‍රාමික, වෛද්‍ය හේතූන්මත ඉවත් වූ රණවිරුවන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු 1,250 කට අධික සංඛ්‍යාවක් සඳහා වෛද්‍ය උපදේශන සේවා, කෘත්‍රිම අවයව නඩත්තු කිරීම, චර්ම රෝග සහ දන්ත සායන, මානසික සෞඛ්‍ය උපදේශන සේවා සහ පෝෂණ උපදේශණ සේවා ලබාදීම සිදුකරන ලදී.
එසේම, මෙම වැඩසටහනට සහභාගී වූවන් සඳහා පවතින ගැටළු විමසා නිරාකරණය කිරීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ මණ්ඩල අධ්‍යක්‍ෂවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරින්, රණවිරු සේවා අධිකාරියේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.