13th March 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරීන්, කෙඩෙට් නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ නායකත්ව ප්‍රමිතීන්, වෘත්තීය වගකීම සහ උපදේශන හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද දෙදින නායකත්වය ප්‍රවර්ධන කිරීමේ වැඩමුළුවක් 2026 මාර්තු මස 06 සහ 07 යන දිනයන්හිදී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සීනෝ-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.
එහිදී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ඉතා වැදගත් දේශන මාලාවක් පවත්වන ලදී. ඒ අනුව, මේජර් ජෙනරල් එච්.සී.පී ගුණතිලක (විශ්‍රාමික) RSP VSV USP ndc psc විසින් ‘විනය, ස්වයං පාලනය සහ වෘත්තීය හැසිරීම’ යන තේමාව යටතේද මේජර් ජෙනරල් කේ.ඒ.ඩී.ඒ. කරුණාසේකර (විශ්‍රාමික) RWP RSP VSV USP ndu psc MSc විසින් ‘නිලධාරීන්ගේ අනන්‍යතාවය, වටිනාකම් සහ අධිකාරීත්වයේ අර්ථය’ යන මාතෘකාව යටතේ හමුදා නායකත්වය පිළිබඳවද මේජර් ජෙනරල් එම්.ඩී.යූ.වී. ගුණතිලක (විශ්‍රාමික) ndu USACGSC විසින් ‘නායකයෙකු සහ ආදර්ශමත් චරිතයක් ලෙස උපදේශක නිලධාරියා’ යන තේමාව යටතේ අනාගත නායකයින් හැඩගැස්වීමේදී උපදේශකයින්ගේ වගකීම පිළිබඳවද බ්‍රිගේඩියර් ජේ.එම්.සී. ජයවීර (විශ්‍රාමික) RSP psc විසින් ‘දියතලාව හමුදා විද්‍යාපීඨය තුළින් විශිෂ්ටත්වය කරා යාම’ යන මාතෘකාව යටතේ ද දේශනයන් පවත්වන ලදී.
එසේම, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ (විශ්‍රාමික) RWP RSP VSV USP ndu psc විසින් ‘ඇගයීම, සාධාරණත්වය සහ උපදේශකයාගේ වෘත්තීයෙහි පැවැත්ම’ යන තේමාව යටතේ දේශනයක්ද, මේජර් ජෙනරල් යූ.එල්.ජේ.එස්. පෙරේරා (විශ්‍රාමික) RSP USP psc විසින් ‘කෙඩෙට් නිලධාරීන් කළමනාකරණය, මඟපෙන්වීම සහ සංවර්ධනය කිරීම’ සහ එහිදී යුද පුහුණුව අතරතුර මගපෙන්වීම සහ උපදේශකත්වය ලබාදීමේ ඇති වැදගත්කම පිළිබඳව පෙන්වා දෙමින් දේශනයන් පවත්වන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව, විද්‍යාපීඨයේ සියලුම මට්ටම් හරහා නායකත්ව මූලධර්ම සහ වෘත්තීය ප්‍රමිතීන් ශක්තිමත් කිරීම සඳහා කොමිෂන් නොලත් නිළධාරින් වෙනුවෙන්ද දෙදින වැඩමුළුවක් ද පවත්වන ලදී.
එම වැඩසටහනේදී, ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් වයි.ඒ.එම්.ඩබ්ලිව්. ජිනදාස යාපා විසින් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ උපදේශකවරයාගේ අනන්‍යතාවය’ යන තේමාව යටතේ දේශනයක් පවත්වමින් අනාගත නිලධාරීන් බිහිකිරීමේදී සහ විද්‍යාපීඨයේ සංස්කෘතිය රැකගැනීමේදී උපදේශකවරුන් සතු වැදගත් කාර්යභාරය ඔහු අවධාරණය කළේය. තවද, විශේෂ බලකායේ කපිතන් ආර්.එම්. පුංචිබණ්ඩා RWP RSP USP විසින් ‘විනය, සරඹ සහ ප්‍රමිතිකරනයේ විශිෂ්ටත්වය’ යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වමින්, අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ප්‍රමිතීන් සහ විනයෙහි වැදගත්කම පෙන්වා දෙන ලදී. බලලත් නිලධාරී 1 එස්.එස්. සෙනරත් බණ්ඩා විසින් ‘ශාරීරික පුහුණු නායකත්වය සහ ආරක්ෂිත සංස්කෘතිය' පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින්, ආරක්ෂිත සහ ඵලදායී ශාරීරික පුහුණු ක්‍රමවේදයන්ගේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. එසේම, බලලත් නිලධාරී 1 කේ.ආර්.වී. සෙනෙවිරත්න විසින් උපදේශකවරුන්ගේ හැසිරීම සහ ශිෂ්‍යභට කළමනාකරණ කුසලතා ඉහළ නැංවීම පිළිබඳවත් බලලත් නිලධාරී 1 එල්.එච්.ටී.ඩී. සරත් කුමාර USP විසින් කෙෙඩට් දක්ෂතා ඇගයීමේදී සාධාරණත්වය සහ ප්‍රමිතිකරණයේ ඇති වැදගත්කම පිළිබඳවත් අවධාරණය කරන ලදී.
සෑම දේශනයක් අවසානයේදීම, සම්පත්දායකයන් ලබා දුන් වටිනා දායකත්වය අගය කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක විසින් ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.