ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුල්‍ය කළමනාකරණ ශාඛාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ඩී.එම්.එල්. සමරදිවාකර RWP RSP ndc psc විසින්, 2025 නොවැම්බර් මස 07 දින කරන්දෙණිය පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති උත්සවයකදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නව බලකාධිපති ලෙස ධූරයේ රාජකාරී භාර ගන්නා ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි නව බලකාධිපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.එම්.සී.ඒ.එස්. සමරතුංග RSP විසින් නව බලකාධිපති වෙත සම්මාන පෙළපාලිය නිරීක්ෂණය කිරීම සඳහා ආරාධනා කරන ලද අතර, ඉන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලිය පවත්වන ලදී.

පසුව, බලකාධිපති තම ධූරයේ රාජකාරි භාර ගැනීම සනිටුහන් කරමින් සිය නව කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව නිල ලේඛනයට අත්සන් තැබීය. අනතුරුව නව බලකාධිපති විසින් රැස්ව සිටි පිරිස අමතමින් බලකායේ වැදගත්කම, ශ්‍රී ලංකා හමුදාවට එහි දායකත්වය සහ ජාතික සංවර්ධනය සඳහා එහි කාර්යභාරය ඉස්මතු කරමින් විනය යනු හමුදාවේ විශිෂ්ටත්වයේ මුල්ගලක් වන බවත්, රෙජිමේන්තු අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී එය ප්‍රධාන සාධකයක් වන බවත් පෙන්වා දෙන ලදී.

දේශනයෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයට එක් වූ බලකාධිපති එහිදී නිලධාරීන් සහ සෙසු නිලයන් සමඟ සුහද පිළිසඳරක නිරත විය.

මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා කවුන්සිලයේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.