ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට පිරිස් මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයට සහභාගීවීම සඳහා ඉන්දියාවට පිටත්ව යයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් 11 වන වරට පැවැත්වෙන මිත්‍රශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසය 2025 නොවැම්බර් මස 10 දින සිට 23 දින දක්වා ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ, බෙලගවි පිහිටි විදේශ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම අභ්‍යාසය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයන් 125 දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර RSP Hdmc psc විසිනි.

මෙම අභ්‍යාසයට සහභාගී වීම සඳහා එම කණ්ඩායම අද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් ඉන්දීය ගුවන් හමුදා ගුවන් යානයකින් ඉන්දියාව බලා පිටත් විය.

ඉන්දීය හා මෙරට හමුදාවන් අතර සමූහ ක්‍රියාදාම මත දෙරටේ හමුදා කුසලතා වැඩි දියුණු කිරීම සහ ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම අභ්‍යාසය පවත්වනු ලබයි.

මෙම පිටත්ව යාමේ අවස්ථාවට ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ නවරත්න RWP RSP USP ndc psc, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එන්.කේ.ඩි බණ්ඩාර RWP RSP USP ndu psc, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් ද සහභාගී වූහ.