ශ්‍රී ලංකා නියෝජිත පිරිස එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම්තුමන්ව හමුවේ

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක්, 2025 මැයි මස 13 දින සිට 14 දින දක්වා ජර්මනියේ බර්ලින් නුවර පැවති 2025 එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වූහ.

මෙම සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල RWP RSP ndc psc 2025 මැයි 15 දින බර්ලින් නුවර පැවති 2025 එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය සමුළුවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ජීන්-පියරේ ලැක්‍රොයික්ස් මහතා හමුවිය.

මෙම හමුව අතරතුරදී, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් සාමසාධක මෙහෙයුම්වල යෙදවීම සඳහා භටපිරිස් තෝරාගැනීමේදී අනුගමනය කරනු ලබන නව මානව හිමිකම් පිළිබඳව පරීක්‍ෂා කිරීමේ ක්‍රමවේදය පවතින විනිවිදභාවය, යහභාවිතාවය සහ වගවීම පිළිබදව කරුණු පහදා දෙන ලදී. ඒ අනුව, 2019 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සාමසාධක රාජකාරින් සඳහා යෙදවීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවා තිබූ සීමාවන්ටද අනුකූලව මෙම නව යාන්ත්‍රණය සිදුවන බව ද නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් තහවුරු කරන ලදී.

එසේම, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් එහිදී එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා හමුදා සහ පොලිස් නිලධාරින්ගේ දායකත්වය ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව සතු සූදානම පිළිබඳව ද දැනුවත් කළ අතර එහිදී, අනාගත සාමසාධක රාජකාරින් සඳහා කාන්තා නිලධාරිනියන්ගේ සහ සාමසාධක භටපිරිස්හි සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුගත වීමට දක්වන ප්‍රයත්නය මඟින් පෙන්නුම් කරන බව ද පෙන්වාදෙන ලදී.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ නව පරීක්‍ෂා කිරීමේ ක්‍රමවේදය ධනාත්මකව පිළිගත් ජීන්-පියරේ ලැක්‍රොයික්ස් මහතා විසින් ශ්‍රී ලංකා සාමසාධක භටපිරිස් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ අඛණ්ඩව රාජකාරින් සිදුකිරීමට ද අවස්ථාව ලබාදෙන ලදී. එසේම, එතුමන් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ සහ ලෙබනනයේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලංකා සාමසාධක භටපිරිස්හි කැපවීම ද ඇගයීමට ලක් කළේය.

මෙම හමුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ශ්‍රී ලංකාවේ දිගුකාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරන අතර, එසේම එමඟින් සාමසාධක මෙහෙයුම් සඳහා දක්‍ෂ භටපිරිස් සහභාගි කරවන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින රටක් වශයෙන් පවතින විශ්වාසය ද තවදුරටත් ශක්තිමත් විය.

මෙම සාකච්ඡාව සඳහා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක සඳුන් ලියන්විල මහතා, නිව්යෝර්ක් හි හමුදා උපදේශක බ්‍රිගේඩියර් සුමල් වික්‍රමසේකර සහ පොලිස් අධිකාරි ආර්.එම්. විමලරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද සහභාගි වූහ.