‘ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා වර්ණ රාත්‍රිය - 2025 හිදී දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇගයේ

‘ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා වර්ණ රාත්‍රිය - 2025’ කොළඹ, ග්‍රෑන්ඩ් මේට්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී 2025 මැයි මස 28 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය. ඉංජිනේරු බලකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුවිශේෂී ජයග්‍රහණ ඇගයීමට ලක්කිරීමේ අරමුණින් මෙම උත්සවය පැවැත්විණි.

ඒ අනුව, මෙම උත්සවයේදී 2024 වර්ෂය සිට 2025 වර්ෂය දක්වා ජාත්‍යන්තර, ජාතික, ආරක්‍ෂක සේවා, අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා තරඟ ඉසව් 22 ක් සඳහා සහභාගි වෙමින් ඉංජිනේරු බලකයට, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සහ සමස්ථ ජාතියටම කීර්තියක් ගෙන දෙමින් විශිෂ්ට දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා ක්‍රීඩකයි 142 දෙනෙකුට ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත වර්ණ ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අභිමානවත් ඉතිහාසය සහ මේ දක්වා පැමිණි ගමන් මඟ පිළිබඳව දැක්වෙන වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව වර්ණ ප්‍රදානය කිරීමට නියමිත ක්‍රීඩකයින් පිළිබඳ කෙටි හැඳින්වීමක් ද සිදුකෙරිණි.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති සහ එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ක්‍රීඩකයින් වෙත වර්ණ ප්‍රදානය කරන ලදී.

අනතුරුව, එම රෙජිමේන්තු බලකාධිපති විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරමින් එම රෙජිමේන්තුවේ කෘතඥතාවය එතුමන් වෙත පුදකරනු ලැබීය. මෙම අවස්ථාවේදී, රෙජිමේන්තුව තුළ ක්‍රීඩාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මූල්‍ය දිරිගැන්වීමක් ද ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එෆ්. ජෝෂප් USP විසින් ස්තූති කථාව පවත්වමින් උත්සවයේ සාර්ථකත්වය වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලු සාමාජිකයන් වෙත සිය හෘදයාංගම කෘතඥතාවය පුදකළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ජාතික ගීතය ගායනා කෙරිණි.