21st July 2025
මුලතිව් ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුමේදි මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත ගෞරවාචාර පුදකරමින් පවත්වනු ලබන 29 වන අනුස්මරණ උත්සවය 2025 ජූලි මස 19 දින 1 වන විශේෂ බලකා රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. මෙම උතස්වයේදී, මවිබිමේ ඒකීයභාවය උදෙසා 1996 ජූලි මස 19 දින තම ජිවිත පූජා කළ කර්නල් ඒ.එෆ් ලෆීර් PWV RWP RSP ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු සහ සෙසුනිලයන් 36 දෙනෙකු වෙනුවෙන් උපහාර පුදකෙරිණි.
මෙම උත්සවය විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc ගේ මඟපෙන්වීම මත පැවැත්විණි.
මෙම අනුස්මරණ උත්සවයට සමගාමීව, 1 වන විශේෂ බලකාය වෙතින් මාතලේ, මඩවල උල්පත පිහිටි වර්ණකුලසූරිය වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි. පසුව, එම දිවංගත රණවිරුවන් වෙත පිං අනුමෝදන් කරමින් 1 වන විශේෂ බලකා මූලස්ථාන පරිශ්‍රයේදී ධර්ම දේශනාවක් ද පවත්වන ලදී.