මියන්මාරයේ මානුෂීය මෙහෙයුමක් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

මේ වසර මුලදී මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පසු ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම විසින් මියන්මාරයේ දියත් කරන ලද සහනසේවා මෙහෙයුම් තුළ දැක්වූ දායකත්වය වෙනුවෙන් 2025 නොවැම්බර් මස 26 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ඔවුන්ගේ සේවය ඇගයීමට ලක් කළේය.

ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම, ආපදාවට ලක් වූ කලාපයේ හදිසි සහන සේවා කටයුතුවලට සහාය වීම සඳහා 2025 අප්‍රේල් මස 05 දින සිට අප්‍රේල් මස 26 දින දක්වා නයිපිඩෝ පළාත පුරා යොදවා තිබුණි. භූමි තත්ත්වයන් තක්සේරු කිරීම, හානියට පත් සෞඛ්‍ය යටිතල පහසුකම් ශක්තිමත් කිරීම, ජංගම වෛද්‍ය සායන පැවැත්වීම, හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සහ පුළුල් සෞඛ්‍ය නිරීක්ෂණ තක්සේරු සිදු කිරීම වැනි සහනසේවා කටයුතු ඔවුන් මියන්මාරයේදී සිදු කරන ලදී. මීට අමතරව ඔවුන් ආධාර කාර්යක්ෂමව බෙදා හැරීම, ආපදාවට ලක් වූ පවුල් සඳහා පරිත්‍යාග වැඩසටහන් සහ ඉහළ අවශ්‍යතා ඇති ප්‍රදේශවල ඉලක්කගත ආධාරක වැඩසටහන් ක්‍රියාත්මක කළහ.

මෙම උත්සවය අතරතුරදී, විදේශයන්හි රාජකාරි ඉටු කිරීමේදී ඔවුන්ගේ ආදර්ශමත් සේවය සනිටුහන් කරමින් මියන්මාර රජය විසින් පිරිනමන ලද පදක්කම් යුද්ධ හමුදා සාමාජිකයන් 16 දෙනෙකු සහ නාවික හමුදා සාමාජිකයන් 03 දෙනෙකු වෙත පිරිනමන ලදී.