මීගමුව, ලොයෝලා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වෙයි

මීගමුව, ලොයෝලා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 පෙබරවාරි මස 28 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ලොයෝලා විද්‍යාලයේ විදුහල්පති ගරු ඩී.එම්.ජේ කෙනඩි පෙරේරා පියතුමන් විසින් පිළිගැනීමෙන් අනතුරුව පාසල් ශිෂ්‍යභට කණ්ඩායමේ චාරිත්‍රානුකූල ආචාර පෙළපාලියක් ද එතුමන් වෙත පුදකරනු ලැබීය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් සහය දිවීමේ තරඟය පැවති අතර පසුව වර්ණවත් සරඹ පෙළපාලියක් ද පැවැත්විණි. ක්‍රීඩා උළලේ සම්මාන ප්‍රධානෝත්සවයේදී, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත පදක්කම් සහ ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් සහ ජයග්‍රාහී නිවාසයන් ඇගයීමට ලක් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් විදුහල්පතිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.