අභාවප්‍රාප්ත කර්නල් ආර්.ඒ.එන්.පී රණවීර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

අභාවප්‍රාප්ත කර්නල් ආර්.ඒ.එන්.පී රණවීර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ 2025 නොවැම්බර් මස 01 දින සන්ධ්‍යාවේදී කොට්ටාව, පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි.

හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කර්නල් ආර්.ඒ.එන්.පී රණවීර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය කාතුගැල මත අභිමානවත් අයුරින් තැන්පත් කරනු ලැබීය.

ඉන් පසුව, අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් විසින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් යුද්ධ හමුදා නිලධාරින් සහ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවේගයට පත් පවුලේ සාමාජිකයන් ද පැමිණියහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I, අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලදී. පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත පිරිනැමිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් සංකේතාත්මක කාලතුවක්කු වෙඩි මුර ආචාරය පවත්වන ලදී.

හිරු නැගෙන මොහොතේදීත් හිරු බැස යන මොහොතේදීත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ එම අවස්ථාවේදී වාදනය කරනු ලැබු අතර, පසුව අභාවප්‍රාප්ත කර්නල් ආර්.ඒ.එන්.පී රණවීර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ආදාහනාගාරය වෙත රැගෙන යන ලදී.

පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc විසින් අභාවප්‍රාප්ත එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

අභාවප්‍රාප්ත කර්නල් ආර්.ඒ.එන්.පී රණවීර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, පවුලේ සාමාජිකයින් සහ ශෝකයට පත් පිරිස් පැමිණ සිටියහ. ‍

I කොටසේ නියෝගය පහත දැක්වේ: