ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සිය 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සිය 13 වන සංවත්සරය 2025 නොවැම්බර් මස 15 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබූ අතර, ඒ වෙනුවෙන් උත්සව මාලාවක් සංවිධානය කරනු ලැබීය.

සංවත්සරයට සමගාමීව, සන්හිඳ ළමා නිවාසයේදී දානමය පිංකමක් සහ පොත්පත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර, කැන්දලන්ද ක්‍රීඩා පිටියේදී ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වන ලදී. එසේම, මහරගම පිළිකා රෝහල සමඟ සම්බන්ධීකරණයෙන් බෝධිරාජාරාම විහාරස්ථානයේ දී රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ද පවත්වන ලදී. අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර රාජකාරි සිදුකරනු ලබන සියලුම හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත්, දිවි පිදූ රණවිරුවන්ටත් ආශිර්වාද පතා බෝධි පූජා පිංකමක් පවත්වනු ලැබීය.

සංවත්සර දිනයේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලද අතර, පසුව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.

පසුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර රාජකාරින් සිදුකරනු ලබන සිවිල් කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයන් වෙත ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලදී. ඉන් අනතුරුව, පැවති සියලු නිල දිවා භෝජන සංග්‍රහයෙන් පසුව භටපිරිස් ඇමතීම සිදුකරන ලදී. සංවත්සර උත්සවයන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.