23rd May 2025
1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ 75 වන සංවත්සර ඉතිහාස ග්‍රන්ථයේ තුන්වන වෙළුම එළිදැක්වීමේ උත්සවය 2025 මැයි මස 21 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් කේ.පී අරුණ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc සහභාගි විය. එමෙන්ම, මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයෙකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc විසින් ආරම්භක දේශනය පැවැත්වීය. මෙම උත්සවයේ ප්‍රධාන දේශනය හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙකු වන ජෙනරල් එස්.එච්.එස් කෝට්ටේගොඩ (විශ්‍රාමික) WWV RWP RSP VSV USP ndc විසින් පවත්වන ලදී.
ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් වෙත මෙම ඉතිහාස ග්‍රන්ථයේ පිටපත් ප්‍රදානය කෙරිණි. පසුව, සම්භාවනීය අමුත්තන් විසින් ආරක්‍ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියටත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෙබ් අඩවියට සහ ශ්‍රී ලංකා පාබල හමුදා වෙබ් අඩවියටත් මෙම ඉතිහාස ග්‍රන්ථයේ තෙවන වෙළුමේ විද්‍යුත් පිටපත් නිල වශයෙන් මුදාහරින ලදී.