චීන රජයෙන් ‘රණවිරු සෙවණට’ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

10th February 2016

සිය මිත්‍ර‍ත්වය තවදුරටත් විදහාපාමින් චීන මහජන සමූහාණ්ඩුවෙන් රාගම රණවිරු සෙවණෙහි ප්‍ර‍තිකාර ලබන හා පුනරුත්තාපනය ලබන, රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් රු: මිලියන 2 ක් වටිනා භෞත චිකිත්සක උපකරණ තොගයක් යුද හමුදාව වෙත භාරදීම සිකුරාදා (05) වන දින කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිනි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත මෙම ද්‍ර‍ව්‍ය තොගය සංකේතාත්මකව භාර දුන්නේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ලී චෙන්ග්ලින් විසිනි. එම අවස්ථාවට චීන මහජන යුද හමුදාවේ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, තානාපති නිලධාරීන්, ආබාධිත රණවිරුවන් සහ තවත් ආරාධිතයින් බොහෝ දෙනෙක් එක්ව සිටියහ. මීට පෙර චීන තානාපති කාර්යාලය විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත මෙම පරිත්‍යාගය සිදු කිරීමට බලාපොරොත්තු වන බව ලිපියකින් දැනුම් දීමෙන් අනතුරුව ඒ සඳහා ආරක්ෂක ලේකම් ඉංජි. කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ස්තූතිය හා ආශිර්වාදය ඔවුන් වෙත පළ කොට තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ආබාධිත රණවිරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා චින රජය සිදු කළ මෙම ක්‍රියාව මහත් සේ අගය කළ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත ඒ වෙනුවෙන් සිය කෘතඥතාව ද පුද කළේය. මෙම චීන පරිත්‍යාගශීලීන් සමඟ යුද හමුදාපතිතුමා අදහස් හුවමාරු කර ගත් අතර, එම පරිත්‍යාගශීලීන් රණවිරු සෙවණෙහි නේවාසික සෙබලුන් හමුවට ද කැඳවා ගෙන ගියහ. චීන තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නාවික උපදේශක ලුතිතන් කර්නල් මියාඕ කායි, යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, විධායක ජෙනරාල් නන්දන උඩවත්ත, සුබසාධන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුනිල් වන්නිආරච්චි, රණවිරු සේවා අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එන්.ඒ.පී.සී නාපාගොඩ, පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එස්.කේ තිරුවණකරසු සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.