‘ක්‍රීඩා සහ ශාරීරික සෞඛ්‍ය ප්‍ර‍වර්ධන සතිය’ සමගින් යුද හමුදාව අත්වැල් බැඳ ගනී

2nd February 2016

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකාව තුල බෝ නොවන රෝග පාලනය කිරීමේ අරමුණ පෙරදැරි කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රීඩා සහ ශාරීරික සෞඛ්‍ය ප්‍ර‍වර්ධන සතිය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් බ්‍ර‍හස්පතින්දා (28) දින උදෑසන නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ශාරීරික අභ්‍යාස වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. ක්‍රීඩා සහ ශාරීරික සෞඛ්‍ය ප්‍ර‍වර්ධන සතිය යටතේ බ්‍ර‍හස්පතින්දා (28) දින ත්‍රිවිධ හමුදාව ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් සඳහා වෙන් කරනු ලැබූ අතර, ඒ අනුව යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම විශේෂ වැඩසටහනෙහි ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි වූ අතර, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. දිවයින පුරා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ජනවාරි මස 25 සිට 30 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර, මෙම ක්‍රීඩා සහ ශාරීරික සෞඛ්‍ය ප්‍ර‍වර්ධන සතිය මගින් ජනතාව තුල ශාරීරික සුවතා වැඩසටහන් පිළිබඳව අවබෝධය සහ නිරෝගීමත් ජීවිතයකට ක්‍රීඩාව සහ ශරීර සුවතාවෙහි වැදගත්කම පිළිබඳව දැනුවත් කරනු ලැබේ. මීට සමගාමීව යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත දිවයිනේ සියලු ආරක්ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු සහ අනෙකුත් යුද හමුදා ඒකකයන්හි දි ක්‍රීඩා සහ ශාරීරික සෞඛ්‍ය ප්‍ර‍වර්ධන සතිය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රාශියක් ද ක්‍රියාත්මක කරන ලදී.