හමුදා ගෞරවාචාර සමගින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හට උණුසුම් පිළිගැනීමක්

8th January 2016

දිවයිනට පැමිණ සිටින පකිස්ථාන අග්‍රාමාත්‍ය මොහොමඩ් නවාස් ෂරීෆ් මහතා අගහරුවාදා (5) උදෑසන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍ර‍යේදී හමුදා ගෞරවාචාර සමගින් පිලිගනු ලැබීය. තෙදින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණි ෂරීෆ් මහතා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් උණුසුම් අයුරින් පිලිගත් අතර, එම අවස්ථාව සදහා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍ර‍මසිංහ ඇතුළු මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් සහභාගි වූහ. මෙහිදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පිලිගත් අතර යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් උත්සව භූමිය වෙත කැටුවගෙන යනු ලැබීය. අනතුරුව ගැමුණු හේවා බලඇණියේ නිළධාරීන් 2 කු ඇතුළු යුද හමුදා සමාජිකයින් 72 කු විසින් අග්‍රාමාත්‍යවරයා හට වර්ණවත් ආචාර සම්මාන පෙලපාලියක් පිරිනැමීය. එමෙන්ම ත්‍රිවිධ හමුදා සහ පොලිස් සංස්කෘතික කණ්ඩායම් විසින් ද අග්‍රාමාත්‍යවරයා මහත් හරසිරින් පිලිගනු ලැබීය. අනතුරුව කාලතුවක්කු හමුදා සෙබලුන් විසින් ආචාර වෙඩි මුර 19 ක් ආරාධිත අමුත්තා වෙත පිරිනමනු ලැබීය.