51 පාබල සේනාංකය ශාන්ත මරියා ආසන දෙව්මැදුරේදී නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පවත්වයි

26th December 2024

නත්තල සහ අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය උපදෙස් මත 51 පාබල සේනාංකය විසින් යාපනය, ශාන්ත මරියා ආසන දෙව්මැදුරේදී වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය 2024 දෙසැම්බර් මස 24 දින පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී සහභාගී වූ අතර, 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ ආරාධනයෙන් යාපනය රදගුරු ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් හිමිපාණන් මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී විය.

යාපනය අර්ධද්වීපයේ ජීවත්වන ප්‍රජාවන් තුළ සමාජීය හා සංස්කෘතික දැනුවත්භාවය වර්ධනය කිරීම හා ඔවුන් අතර තිරසාර සංහිඳියාවක් ඇති කිරීම සඳහා මෙම වාර්ෂික වැඩසටහන ආරම්භ කරන ලදී.

මෙම වැඩසටහනේදී නත්තල් කැරොල් ගීත, වේදිකා නාට්‍ය සහ ඉංජිනේරු සේවා බලකායේ තූර්ය වාදක කණ්ඩායමේ සංගීත රසාස්වාදයද එක් කරන ලදී.

511, 512, 513 පාබල බලසේනාවන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි දායකත්වයෙන් නත්තල් උත්සවය සඳහා පැමිණි දරුවන් වෙත ත්‍යාග පාර්සල් 400 කට අධික ප්‍රමාණයක්, රසකැවිලි සහ සෙල්ලම් බඩු බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. පිරතීපන් යන මහත්වරුන්, ගුවන් හමුදාවේ හා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.