ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් බර ඉසිලීමේ ජාතික ශූරියට මූල්‍යමය ආධාර ලබාදෙයි

16th December 2024

වයස අවුරුදු 17 න් පහළ කිලෝග්‍රෑම් 49 බර ඉසිලීමේ කාණ්ඩයේ ජාතික ශූරිය ලෙස තේරීපත් වී ඇති සෙවනපිටිය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන එම්. ඉනෝෂා නවෝද්‍යා, 2024 දෙසැම්බර් මස 19 දින සිට 25 දින දක්වා දෝහා, කටාර්හි හි පැවැත්වෙන 2024 ආසියානු යොවුන් හා කනිෂ්ඨ බර ඉසිලීමේ ශූරතාවලියට තරඟ කිරීමට අවස්ථාව හිමිකරගෙන ඇත.

එම ශිෂ්‍යාවට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබාගැනීමේදී බොහෝ මූල්‍යමය අභියෝගයන්ට මුහුණ දීමට සිදු වූ අතර, ඇයගේ හැකියාවන් සහ ඇය මුහුණ දුන් බාධක හඳුනාගනිමින්, සෙවනපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ඇයගේ ඉදිරි ශූරතාවලියේ වියදම් සඳහා රුපියල් 80,000/= ක මුදලක් 2024 දෙසැම්බර් මස 13 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර පරිශ්‍රයේදී පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙවනපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ සෙවනපිටිය බර ඉසිලීම් පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුකරු සහභාගී වූහ.