පනාගොඩ විරු කැකුළු පෙර පාසලේදී ලෝක ළමා දිනය සමරයි

10th October 2024

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ විරු කැකුළු පෙර පාසලේ ප්‍රධාන පාලිකා සුරංගි අමරපාල මහත්මියගේ මඟපෙන්වීම යටතේ “දරුවන් සුරකිමු - ඔවුන්ට සමානව සලකමු” තේමාව ඔස්සේ ලෝක ළමා දිනය සමරමින් පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් වෙනුවෙන් ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍රවණාගාරයේදී 2024 ඔක්තෝම්බර් මස 1 දින විශේෂ උත්සවයක් පැවැත්විණි.

එම පෙරපාසලේ ඉගෙනුම ලබන දරුවකු විසින් පිළිගැනීමේ කතාව පැවැත්වීමෙන් අනතුරුව උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් පෙර පාසල් දරුවන්ගේ දක්‍ෂතාවයන් විදහා දක්වමින් සජීවී ප්‍රසංග මාලාවක් පැවැත්විණි. හෝමාගම ලංකා බැංකුව, මැලිබන් බිස්කට් සමාගම සහ ‘ලා ෆොරෙස්ටා’ (La Foresta) පුද්ගලික සමාගම මෙම අවස්ථාවට සිය මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වූ අතර, වැඩසටහන අතරතුරදී ළමුන් සඳහා ත්‍යාග සහ අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.