ධූරයෙන් නික්ම යන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපතිතුමන්ට එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය
27th September 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ධූරයෙන් නික්ම යන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 25 දින දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
ධූරයෙන් නික්ම යන එතුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායකතුමන් සහ මන්ත්‍රණ සභා සාමාජිකයන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
උත්සවයේ කටයුතු ආරම්භ කරමින් එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළ අතර, පසුව එතුමන් රට වෙනුවෙන් දිවිපිදූ එම රෙජිමේන්තුවේ රණවිරුවන් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත ගෞරවාචාර පුදකළේය. ඉන් අනතුරුව භටපිරිස් විසින් ධූරයෙන් නික්ම යන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකරන ලදී.
අනතුරුව, ධූරයෙන් නික්ම යන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපතිතුමන් සිය ධූරයේ රාජකාරි භාරදීම සිදුකර භටපිරිස් ආමන්ත්‍රණය කළේය. උත්සවයේ කටයුතු අවසන් කරමින් එතුමන් විසින් ඉටු කරන ලද සේවය අගයකරමින් එම රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් කඳවුරෙහි ප්‍රධාන මාර්ගය දෙපස සිට සම්ප්‍රදායික ආචාරය පුද කරනු ලැබීය.