යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව බලකාධිපති රාජකාරි අරඹයි

27th September 2024

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 17 වන බලකාධිපති වශයෙන් 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්ඩබ්ලිව්පී යූඑස්පී, 2024 සැප්තැම්බර් මස 26 දින දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නව බලකාධිපතිතුමන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.කේ පීරිස් ආර්එස්පී සහ රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය. ඉන් අනතුරුව, එතුමන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරමින් රට වෙනුවෙන් දිවිපිදූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් වෙත ගෞරවාචාර දැක්වීය. පසුව නව බලකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

ධූරයේ රාජකාරී භාරගනු ලැබූ එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, අනතුරුව නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්ඩබ්ලිව්පී යූඑස්පී, 2007 වර්ෂයේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ආරම්භයේ සිට එහි ආරම්භක සාමාජිකයෙකු වීමද විශේෂත්වයකි.