11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

24th September 2024

11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත් මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 සැප්තැම්බර් මස 18 දින දඹුල්ල, කිරලගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.

සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් සේනාංකාධිපතිතුමන් මොරගහකන්ද, බෝවතැන්න විදුලි බලාගාරයන්හි සහ අගුණුවැල්පැලැස්ස ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩා මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙමින් එම ස්ථානයන්හි භටපිරිස් යෙදවීම නිරීක්‍ෂණය සිදුකර එම පරිශ්‍රයන්හි ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සොයාබැලීම සිදුකරනු ලැබීය.

සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් පී.කේ. වරුවංගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එල්එස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් විසින් භටපිරිස් යෙදවීම, ක්‍රියාන්විත රාජකාරි, කාර්යභාරයන් සහ පොදු රාජකාරි වැනි කරුණු පිළිබඳ සේනාංකාධිපතිතුමන්ව සවිස්තරාත්මකව දැනුවත් කළේය.

එම සංචාරය අතරතුර, භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාංකාධිපතිතුමන් ඔවුන්ට අවැසි මගපෙන්වීම සහ දිරිගැන්වීම් ලබාදුන්නේය. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම සංචාරය සඳහා 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.