ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නව ‘සියවස’ කාර්යාල සංකීර්ණයේ ඉහළ මහල විවෘත කරයි
3rd July 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථාපිත ‘සියවස’ කාර්යාල සංකීර්ණයේ ඉහළ මහල ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී ගේ සුරතින් 2024 ජුනි මස 27 දින විවෘත කෙරිණි.
අභිනවයෙන් ඉදිකරනු ලැබූ කාර්යාල සංකීර්ණ පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ‘සියවස’ කාර්යාල සංකීර්ණය වෙත කැටුව යනු ලැබීය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරනු ලැබිණි. නව කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.
මෙම උත්සවයට සමගාමීව පිරිත් සජ්ඣායනාවක් සහ මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජාකිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.