යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ධූරයේ රාජකාරි අරඹා වසරක් සපිරීම නිමිත්තෙන් පුණ්‍ය වැඩසටහන් මාලාවක්

5th June 2023

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති වැඩසටහන බුද්ධ පූජාව, දහවල් දානය පූජා කිරීම සහ පිරිකර පූජා කිරීම වැනි අංගයන්ගෙන් සමන්විත විය.

යුද්ධ හමුදා ‘හේවිසි’ කණ්ඩායම පෙරටු කොටගත් වර්ණවත් පෙරහැරකින් භික්‍ෂූන් වහන්සේලා දාන ශාලාව වෙත වැඩම කරවනු ලැබීය. දානමය කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරවිල සුජාත හිමිපාණන් විසින් ‘පොසොන්’ පොහෝ දිනයේ වැදගත්කම පිළිබඳ කෙටි අනුශාසනාවක් සිදුකරන ලදී.

මෙම පුණ්‍ය වැඩසටහනේදී යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ යුද්ධ හමුදා සේවයේ නියුතු සියලුම සාමාජිකයන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත ආශිර්වාද එක්කළ අතර මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ යුද්ධ හමුදාවේ සහ අනෙකුත් හමුදාවන්හි වීරෝදාර රණවිරුවන් වෙත පිං අනුමෝදන් කිරීම ද සිදුකෙරිණී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය බුද්ධ පූජාව පූජාකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අනෙකුත් සාමාජිකයින් සමඟ එක්ව මහා සංඝරත්නය වෙත දානය පූජාකරනු ලැබීය.

දානමය පිංකම අවසන්වීමෙන් අනතුරුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ නිවස වෙත ගොස් අසාධ්‍යව සිටින ඔහුගේ භාර්යාව වෙත ආධාර ද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබීය.

මෙම පුණ්‍ය වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උපසභාපතිනි ධනූෂා වීරසූරිය මහත්මිය, ලේකම් චාමා වනසිංහ මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකයින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්වී ද සහභාගී වූහ.