ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

9th July 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවට අයත් 7 ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතු නිලධාරියෙකු සහ සෙසුනිලයන් 20 දෙනෙකු, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ සහ පරිසර ආරක්‍ෂණ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් සමඟ එක්ව මෝදර කාක දූපත අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ්‍රමදානමය වැඩසටහනක් ඉකුත් සඳුදා (ජූලි මස 03) දින ක්‍රියාත්මක කරන ලදී.

ආකර්ශනීය වෙරළ තීරය සහ විවිධ සාගර ජීවීන් සඳහා ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක් වන කාක දූපතෙ‍හි සුන්දරත්වය ආරක්‍ෂා කිරීම සහ නඩත්තු කිරීමේ අරමුණින් මෙම වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය දියත් කරන ලදී. ව්‍යාපෘතිය අවසානයේ, සහභාගී වූ සියලුදෙනාගේ මැදිහත්වීමෙන් වෙරළ තීරයේ එකතු වී තිබූ ඉවතලන, කසළ සහ අනෙකුත් පරිසර දූෂක ද්‍රව්‍ය ඉවත් කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත 142 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේ.කේ.ආර්.පී. ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ 7 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.එම්.සී.එල්. දිසානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ අධීක්‍ෂණ යටතේ මෙම ප්‍රජාමූලික ව්‍යාපෘතිය සිදුකළහ.