රණවිරු අනුස්මරණ දිනයට සමගාමීව සඳහිරු සෑ පුදබිමේදී පුණ්‍ය වැඩසටහන් මාලාවක්
23rd May 2023
බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවති ජාතික රණවිරු දින සැමරුම හෙවත් විජයග්‍රහණයේ දින සැමරුමේ 14 වන සංවත්සරයට සමගාමීව සෙනසුරාදා (20) සහ ඉරිදා (21) දින අනුරාධපුර සඳහිරු සෑ පුදබිමේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක්, ජය පිරිත් සජ්ඣායනාවක්, බුද්ධ පූජාව සහ ගිලන්පස පූජා කිරීම, වර්ණවත් පෙරහැරක් සහ අටමස්ථානයන්හි භික්‍ෂූන් වහන්සේලා 100 නමක් වෙත හීල් දානය පූජා කිරීම ආදී පුණ්‍ය වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එම්එස්සී එම්ෆීල් එම්අයිඑම් එන්ඩීසී පීඑස්සී කියුඑෆ්අයි, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ගේ භාර්යාවන්, සෙසුනිලයන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් උඩමළුවේ සිට සඳ හිරු සෑය වෙත සර්වඥ ධාතු කරඬුව පෙරහැරකින් වැඩම කරවා ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු එස්. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වෙත භාරදෙනු ලැබීය.
සර්වඥ ධාතු කරඬුව පිරිත් මණ්ඩපයේ තැන්පත් කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය වෙතින් දිවංගත රණවිරුවන් වෙත පිං අනුමෝදන් කර ජය පිරිත සජ්ඣායනා කරනු ලැබීය.
මහා සංඝරත්නය 100 නමක් විසින් පැවැත්වූ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සාම්ප්‍රදායික දැහැත් වට්ටිය පිළිගැන්වීමෙන් අනතුරුව සුධම්ම හිමිපාණන් විසින් පවත්වන ලද විශේෂ අනුශාසනාවේදී දිවංගත වීරෝදාර රණවිරුවන් සහ ආරක්‍ෂක අංශ සාමාජිකයින්ට පිං අනුමෝදන් කළේය.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් මෙම පුණ්‍ය වැඩසටහනේ සියලු කටයුතු සංවිධානය කළහ.
මෙම පුණ්‍ය වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් පසුගිය ඉරිදා (21) දින උදෑසන භික්‍ෂූන් වහන්සේලා 100 නමක් වෙත හීල් දානය පූජාකිරීම ද සිදුවිය.