යුද්ධ හමුදාව භාවිතා කළ ඉඩම් සිවිල් වැසියන් වෙත පවරාදෙයි

22nd May 2023

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මුලතිව් දිස්ත්‍රික්කයේ ක්‍රියාන්විත සහ ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් මේ දක්වා යුද්ධ හමුදාව භාවිතා කළ සිවිල් වැසියන්ගේ ඉඩම් නිදහස් කිරීමේ ප්‍රතිපත්තියට සමගාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් මූලිකත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (18) දින අක්කර 70.05 ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් ඉඩම් කට්ටි අටක් නිදහස් කරනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම මත 68 පාබල සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් එම ඉඩම් හා සබැඳි ලිපිලේඛන සිවිල් බලධාරින් වෙත භාරදෙනු ලැබීය. එම අවස්ථාව සඳහා ප්‍රාදේශීය ලේකම් සහ අදාළ රාජ්‍ය නිලධාරීන් ද සහභාගී වූහ.

මෙම වැඩසටහනේදී තේවිපුරම්, ආනන්දපුරම්, මලිගතිව්, සුදන්තිපුරම්, උදයාර්කට්ටු (දකුණ), චලෙයි සහ වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශවල පිහිටි අක්කර 70.05 ක ඉඩම් කට්ටි 8 ක් නිදහස් කරනු ලැබීය.

මීට ප්‍රථම, 6 ගැමුණු හේවා බලකාය, 3 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව, 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවෙහි පාබල ඛණ්ඩයන් එම ඉඩම් තුළ ස්ථාපිත කර තිබූ අතර එම ඛණ්ඩයන් මේ වනවිට අදාළ බලඇණි මූලස්ථානයන් වෙත ඒකාබද්ධ කර ඇත.

68 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ පුදුක්කුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාව සඳහා ඉඩම් නිලධාරි, මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් වන අඩවි නිලධාරී, 68 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, අදාළ බලඇණිවල අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.