2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් අවුකන බුද්ධ ප්‍රතිමාව අභියස චෛත්‍යයක් ඉදිකරයි
20th May 2023
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් ගේ මඟපෙන්වීම මත 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් මින්නේරිය, ගිරිතලේ වැව් බැම්ම පසුකරමින් ගමන්ගන්නා බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු වෙනුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාව හිටි පිළිමය අභියස ඝඨාකාර චෛත්‍යයක් ඉදිකර පසුගිය ඉරිදා (14) දින බැතිමතුන්ගේ වන්දනා කටයුතු වෙනුවෙන් නිරාවරණය කරනු ලැබීය.
මහා සංඝරත්නයේ සහ බෞද්ධ විද්වතුන්ගේ මඟපෙන්වීම යටතේ ප්‍රධාන බුද්ධ ශ්‍රාවකයෙකු වන ‘මොග්ගල්ලාන’ මහරහතන් වහන්සේගේ පූජනීය මතකයන් ආවර්ජනය කරමින් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් ‘සුදුගල්කන්ද මොග්ගොල්ලාන මහා සෑය’ ඉදිකරන ලදී.
චෛත්‍ය රාජයාණන් වහන්සේ නිරාවරණය කිරීමේ පූජනීය අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ව්‍යාපෘතියේ පුරෝගාමියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ චෛත්‍ය ගර්භයේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර කොත් වහන්සේ නිරාවරණය කළේය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ඒකකයේ සාමාජිකයන්, බැතිමතුන්, ප්‍රදේශවාසීන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.
එමෙන්ම මහා සංඝරත්නය, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී, විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.එ්. ද සොයිසා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ආරාධිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ව්‍යාපෘතියේ අධීක්‍ෂණ සහ සම්බන්ධීකරණ කටයුතු 2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එන්.පී.ඊ.එන් නෙරංගම විසින් සිදුකරන ලදී.