211 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්

11th May 2023

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකය යටතේ ඇති 211 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ඉකුත් අඟහරුවාදා (9) දින අනුරාධපුර මැදවච්චිය කරාපික්කඩ, ධම්මදීප ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන පාසල් සිසු සිසුවියන් 48 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ පාසල් බෑග් පරිත්‍යාග කරන ලදී. මෙම වැඩසටහන සඳහා අනුග්‍රහකත්වය ‘Aust grow International’ පුද්ගලික ආයතනය සහ රෝසි ටියුරින් මැතිණිය විසින් දක්වන ලදී.

මෙම අවස්ථාව සඳහා 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්.නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ. එම්. සී. පී. විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, මැදවච්චිය අතිරේක ප්‍රාදේශීය ලේකම් කවුෂිගන් මහතා, 14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ටී.ජී.එස්.පී අමරසේන යූඑස්පී පීඑස්සී සහ 211 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී සහභාගී වූහ.