ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව නියෝජ්‍ය සේනාවිධායකතුමන් රාජකාරි අරඹයි

7th June 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී 2024 ජුනි මස 04 දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන් ද පුදකළහ. පසුව, මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 33 වන නියෝජ්‍ය සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නියෝජ්‍ය සේනාවිධායකතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් වශයෙන් විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.